෴ඔබ කියවන්නේ

රඟහල

නාට්‍යය මෙන්ම වේදිකාවද යහපත් විය යුතුය

අද අප රටේ වේදිකා නාට්‍යය නරඹන්නේ ඉතාමත් සුළු පිරිසක්ය. දිගු කලක් පැවති යුදමය වාතාවරණය, රූපවාහිනිය සහ සිනමාව වැනි අනෙකුත් මාධ්‍යයන් ප්‍රමාණාත්වකව වර්ධනය වීම වැනි කරුණු මෙම තත්වය උද්ගත වීමට බලපාන ලදි. මෙවන් තත්වයක් මත සහ නොයෙකුත් දුෂ්කරතා මැද වේදිකා නාට්‍යකරණයේ යෙදෙන්නන් අගය කළ යුතුය.

මෙම ලිපිය ලියන්නට සිත් වූයේ මීට වසර කිහිපයකට පෙර මා ලද අත්දැකීමක් මුල්කරගෙනය. මහගම සේකරයන්ගේ නිර්මාණ මත පදනම් වූ ලෝකය තනි යායක් නාට්‍යය ජයලත් මනෝරත්නයන් අතින් නිම වූයේ මේ කාලයේදීය. මරදාන එල්ෆින්සිටන් රඟහලේදී ලෝකය තනි යායක් නැරඹූ මා රඟහලෙන් පිටව ගියේ පහන් සිතින්ය. සේකරයන්ගේ අගනාම කෘතිය සේ මා සලකන ප්‍රබුද්ධ සමග ඔහුගේ අනෙකුත් නිර්මාණ ඈඳා ගනිමින් මනෝරත්නයන් මැවූ දෘශ්‍ය කාව්‍යය සැබවින්ම මනරම් අත්දැකීමක් විය. නවරත්න ගමගේගේ සංගීතය ද නාට්‍යය හා මැනවින් සැසඳුනේය. මනා වේදිකා පරිපාලනය හා ආලෝකකරණයද නාට්‍යයේ සාර්ථකත්වයට හේතු විය.

නාට්‍යයට නම තැබීමට මුල් වූ පහත් සඳහන් පද පෙල මනෝරත්නයන් වේදිකාවට රැගෙන ආ ආකාරය සුන්දරය.

බැලවෙමි මිදුලට බැස.
පුදුමයක් ය!

වෙසක් පහන් වලින් ගලන
සවණක් ගන රැසින් වැසී
පොළොව බෙදූ තාප්ප හා කටු කම්බි ද
මොහොතින් අතුරු දහන් වී ගොසින් ය.

ලෝකය තනි යායකි.

උපුටාගැන්ම: 58 පිටුව, ප්‍රබුද්ධ, මහගම සේකර

මනෝරත්නයන්ගේ අනෙකුත් නාට්‍යයන් හා සසඳන විට ලෝකය තනි යායක් කුමන ස්ථානයේ පසු වුවත් එය රසවිඳි පුද්ගලයන් අතර මා ද විය. අඳුරින් පිරි ශාලාවේ එක් පසෙක තැබූ සේකරයන්ගේ ඡායරෑපයක් වෙතට ආලෝකය පතිත කරමින් ඇරඹී නාට්‍යයේ අවසානය දක්වා ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට මනෝරත්නයන් සමත් විය.

මාගේ හොඳම මිතුරන් කිහිප දෙනෙකු සමග නාට්‍යය නැවතත් නැරඹීමේ අවස්ථාව උදාකරගත්තේ ඔවුන් සමග මෙම රසවත් අත්දැකීම බෙදා හදා ගැනීමට තිබූ උවමනාව නිසාමය. මෙවර  නාට්‍යය තිර ගත වූයේ කොළඹට ආසන්න නගරයක ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටා තිබූ ශාලාවකය. මෙවර  අත්දැකීම ආරම්භයේ සිටම වෙනස් විය. ශාලාවේ සියළු දොරවල් වැසූ පසුත් එය තුලට නොයෙක් තැන් වලින් හිරු රුස් ගලා ආ අතර වේදිකා ආලෝකකරණයේ වෙනස්කම් කිසිවක් නාට්‍යය නැරඹූ පිරිසට නොපෙනිණ. වට පිටාවෙන් ශාලාව තුලට ගලා ආ ශබ්ද නාට්‍යයේ දෙබස් පැරදවූයේ පහසුවෙනි. මේ සියල්ලටම අමතරව ශාලාව විදුලි පංකා හටි හැටියේ ම ක්‍රියා විරහිත විය. බොහෝ දෙනාගේ අවධානය නාට්‍යයෙන් ගිලිහී ගියේ නිරායාසයෙනි. “මේකෙ ඇති හොඳ මොක්කද?” වැනි ප්‍රශ්ණාර්ථයක් මාගේ මිතුරන්ගේ මුහුණු වලින් පෙනිණ.

එකම නාට්‍යයක් ස්ථානයන් දෙකක තිර ගත වෙද්දී ඇති වූ වෙනස මට ද  අදහා ගත නොහැකි විය. කෙතරම් අගනා නාට්‍යයක් වුවත් එය රඟ දක්වන ස්ථානය එහි සාර්ථකත්වයට බලපාන බවනම් පැහැදිලිය. මෙය නාට්‍යය දර්ශන සංවිධායකයන් සිහි තබා ගත යුතුය. නැතහොත් දැනට සිටින සුළු නරඹන්න් සංඛ්‍යාව පවා අඩු වීමට ඉඩ ඇත.

VN:F [1.9.5_1105]
Rating: 0.0/10 (0 votes cast)
VN:F [1.9.5_1105]
Rating: 0 (from 0 votes)
මෙම ලිපිය ඔබේ සිතැඟි පරිදි ඉහත ක්‍රම මගින් වර්ගීකරණයට ලක් කර සහය වන මෙන් ඉල්ලා සිටින අතර මෙම ලිපිය ඔබේ සිත් ගත්තානම් පහත සඳහන් ක්‍රම මගින් අන් අයටත් දැනුම්දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Discussion

2 Responses to “නාට්‍යය මෙන්ම වේදිකාවද යහපත් විය යුතුය”

  1. මමත් ඉස්සර නාට්‍ය බලන්න ලොකු උවමනාවකින් පෙලුණු, ඒත් කාලයේ ගැටළු නිසා නාට්‍ය ගොඩක් මගඇරුණු මනුස්සයෙක්. දැන් නම් මම ඉන්න පළාත අනුව නාට්‍යයක් බලන එක විහිළුවක්… මොනව වුණත් ඔයා කියන දේ ඇත්ත. නාට්‍යයක් කියන දේ සාර්ථක වෙන්න ඒක පෙන්වන වටපිටාව සෑහෙන්න බලපානවා…

    Posted by h | 13. ඔක්, 2010, ප.ව. 11:39
  2. මමත් නුවර ඉඳිද්දි වැඩිපුර නාට්‍ය බලන්න ලැබුණු අවස්ථා බොහොම අඩුයි. කොළඹ ඉඳන් පැය කිහිපයක දුරක පිහිටි මහනුවර වගේ නගරයක වුවත් අළුත් නාට්‍යය දර්ශණය වෙනවා අඩුයි.

    Posted by මිලින්ද | 14. ඔක්, 2010, ප.ව. 5:38

Post a comment

RSS ග්‍රාහකත්වය

පියසටහන්හි RSS ග්‍රාහකත්වය සඳහා මෙතන ක්ලික් කරන්න විද්‍යුත් තැපෑලෙන් ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න